Monday, August 21, 2017

පවුලේ එකිනෙකා කා ගත් බිහිසුනු බන්ධනය

සියල් සම්පත් සපිරි පවුලක උපන් දැරියක මෙන් පිරිපුන් සුන්දර පෙනුමකින් යුක්ත වන්නට තරම් වාසනා වන්තියක වූ රෂිදා සැබවින්ම ඉසුරින් සපිරි පවුලක තරුණියක නොවූවාය. නෙක දුක්ගැහැට විඳි සාමාන්‍ය පවුලක උපත ලද ඇය පවු‍ලේ වැඩිමහල් දියණිය වූ අතර වයසින් අවුරුදු 19ක පමණ තරුණියකි. ඇයට බාල සොහොයුරන් දෙදෙනෙකි. ඉන් එකෙකු පවුලේ දෙවෙනි දරුවා වූ රසීක් ය. ඔහු අවුරුද 15ක පමණ වයසේ පසුවන කොළු ගැටයෙකි. අනෙකා තවමත් මවු තුරුළේ හිඳින අතදරුවෙකි.

 

සාමාන්‍ය පවුලක හෙයින් රෂිදාටද බෙහෙවින් මුදල් පිළිබඳ අවශ්‍යතාවයන් දැනෙන්නට විය. නමුත් සියලු වියදම් තම පියාගේ මාසික වේතනයෙන් ඉටුකරන්නට නොහැකි බව දත් ඇය නිවසට වී කල් ගත කළත් රැකියාවක් කරන්නට සිතුයේ එමගින් තම වියදමටවත් මුදලක් සොයාගත හැකි වනු ඇතැයි හැඟීමෙන් යුක්තවය. මන්ද ඇය තවදුරටත් දෙමාපියන්ට බරක් වීමට අකමැති වූවාය. ඇගේ උත්සාහයන් වල ප්‍රතිඵලයක් ලෙස පුද්ගලික ආයතනයක ලිපිකාරිනියක් ලෙස රැකියාවක් සෙයාගැනීමට ඇයට හැකි වූවාක් මෙන්ම තම රැකියාව ඉක්මණින්ම ප්‍රිය ජනක රැකියාවක් බවට පත්කරගැනීමටද  ඇයට හැකි වූයේ ඇගේ දක්ෂතාවයම පමණක් නොව සමාජය සමඟ හොඳින් කටයුතු කළ හැකි සමාජශීලී තරුණියක මෙන්ම මනා රූසපුවකින්ද යුක්ත වූ තරුණියක නිසාවෙන් වන්නට ඇත. මේ අයුරින් ඇගේ රැකියාවත් සමඟ කාලය ගෙවීයන්නට විය.

 

නොබෝ දිනකින්ම එම ආයතනයේම රැකියාව කළ සඩික් නම් වූ තරුණයෙකු ඇය පිළිබඳව සිතක් පහළ කරගන්නේද ඇගේ සුන්දර රූසපුව නිසාම විය යුතුය. දිනෙන් දින ඇය පිළීබඳව ඔහුගේ සිතේ ඇති වූ හැඟීම දළුලා  වැඩෙන්නට වූයේ රාජකාරී කටයුතු වලදී ඇයද බෙහෙවින්ම සඩික් සමඟ ලඟින් කටයුතු කළ නිසාවෙනි. කාලය ගතවත්ම සඩික් තුළ වූ හැඟීම වඩ වඩාත් දැඩිව දැනෙන්නට වූ හෙයින් ඇගෙන් ප්‍රේමය විමසන්නට ඔහු සිතාගත්තේය. දිනක් සඩික් ඇයගෙන් ඒ පිළිබඳව කෙළින්ම විමසා සිටියේ ඉමහත් බලාපොරොත්තු සිත රඳවාගෙනය. ඇය ඔහුට කැමති වේයැයි ඔහු සිතුවේ ඇයගෙන් ඔහු කෙරෙහි අකමැත්තක් කිසි ලෙසකත් දක්නට නොවූ හෙයිණි. එහෙත් සැබවින්ම ඇගේ සිත්හි එවැන්නක් නුවූයේය. ඇයට ප්‍රේම සම්බන්ධයක් අවශ්‍යව නැත. ඇයට තිබූයේ තම පවුලේ අවශ්‍යතාවයන් පමණි.

ඇගේ සිතෙහි සඩික් පිළීබඳව අංශුමාත්‍රයක හෝ ප්‍රේමයක් නොවිණ. ඇගේ පිළිතුර වූයේ ඇය ඊට අකමැති බවය. තම අරමුණු ඉටුකරගන්නා තෙක් විවාහයක් ගැන නොසිතන බැව් ඇය ඔහුට පැවසූවේ අවංකවමය. එහෙත් සඩික් නැවත නැවතත් ඇගෙන් ප්‍රේමය විමසන්නට වූවාක් මෙන්ම ඔහු ඇයට ඔහුගේ ප්‍රේමය දනවන්නට නොයෙක් විට කටයුතු කරන්නට වීමද ඇයට මහත් හිරිහැරයක් බවට පත්විය. අවසානයේ තවදුරටත් මෙය ඉවසන්නට නොහැකි වූ තැන

 

 “ සඩික්, අපේ අම්මයි තාත්තයි කැමති දේකට තමයි මම කැමති. ඔයා කැමතිනම් එයාලාගෙන් අහන්න ” යි රෂිදා පැවසූවේ කිසිවිටකත් ඔහු එවැන්නක් නොකරනු ඇතැයි බලාපොරොත්තුවෙනි. එහෙත් සිදුවූයේ අනෙකකි. ඔහු තම නිවසට පැමිණ දෙමාපියන්ගෙන්ද ඇගේ අතගන්නට විමසූ‍වේය. ඇය ඔහුට අකමැති බව ඇය දෙමාපියන්ට පවසා තිබුණු හෙයින් දෙමාපියන්ද ඊට අකමැති වූයේ ඇ‍ගේ දැඩි තිරණ පිළිබඳව ඔවුන් දත් නිසාවෙනි. දෙතුන් වරක්ම නිවසට පැමිණි ඔහු අවසානයේ රෂිදාගේ පියාගේ බැන වැදීම් වලින් නැවතිණ. රෂිදාට රැකියාව අත්හැරීමට සිදු විය. මේ අයුරින් සති කීපයක් ගෙවී ගියේ ඇයටත් ජීවිතයට මළානික බවක් එක් කරමිනි.

 

මැදියම් රැයේදි එක් වරම රෂිදා අවදි වූයේ බිළි‍ඳෙකු යටිගිරියෙන් කෑගසමින් හඬන්නට වූ බැවිණි. ඇය මිනිත්තුවක් පමණ බලා සිටියත් ඇගේ මව තම බාලම සොහොයුරා වූ දරුවා නළවන හඬක් නෑසුණෙන් ඇ‍ඳෙන් නැගිටගත් ඇය බිළිඳා වෙත ගියේ මව තදින්ම නින්ද ගොස් ඇතැයි සිතාය. ඇය මවගේ කාමරය වෙත ගොස් දොර විවර කළාය. කළුවරේම බිත්තිය අතපත ගා විදුලි පහන දැල්වූ ඇය දුටු දසුණින් භිරාන්ත වී මරහඬ නැගුවේ නිවසේ පමණක් නොව අසළ නිවෙස් වල මිනිසුන්ද තිගැස්සෙන අයුරිනි. රෂිදාගේ මව වූ ෆාතිමා තම සිඟිති දරුකැටියාව දෑතින් රැගෙන සිඟිත්තාගේ හිස සපා කමින් සිටියාය.

 

“අම්මා අම්මා” යි රෂිදා යටිගිරියෙන් කෑගසයි.

 

එකෙණෙහිම ඇය දෙස රෞද්‍ර බැල්මක් හෙළූ ඇගේ මවගේ නෙත් රත් පැහැ ගැන්වී විශාල වී ඇත. ඇගේ මුවින් ලේ වෑහෙයි. ඒ දුටු රෂිදා තව තවත් බියට පත් වූවාය. ඇය යටිගිරියෙන් මොර දෙන්නීය.

 

ඇගේ කෑ ගෑමෙන් තත්පර දහයක් ගතවන්නටත් පෙර දිව ආ ඇගේ පියා වූ හනිෆා මෙන්ම සොයුරා වූ රසීක් ද  දුටු දසුණින් භීතියෙන් ගල් ගැසී ගිය මුත් හනිෆා වහා ඔහුගේ සිතට නැගුණු අදහසකින් ක්‍රියාත්මක වූවේය. වහා ක්‍රියාත්මක වූ ඔහු ෆාතිමාට වැරෙන් එල්ල කළ පහරින් ඇය විසිවී ගියාය. ඒ ක්ෂණයෙන් දරුවාව උදුරාගත් හනිෆා දරු කැටියාව රෂිදා අතට දී ෆාතිමාව මෙල්ල කරගන්නට වෙර දැරීය. ඒ අතර තුර අසල් වැසියන් කීප දෙනෙකුද දිව ආ හෙයින් මඳ වෙහෙසක් දරා ෆාතිමාව අල්ලාගෙන බැඳ දැමීමට ඔහුට හැකිවිය.

 

ඒ අතර තුර රෂිදා අතේ වූ සිඟිත්තාගේ හිසෙන් බොහෝ ලේ ගලන හෙයින් වහා රෙදි කැබලි සොයා සිඟිත්තාගේ හිස මත ලේ වැගිරීම නවත්වන්නට කටයුතු කළාය. අනතුරුව එම තුවාල කුඩා සිඟිත්තෙකුට දරුණු හෙයින් වහාම වෛද්‍යවරයෙකු කරා සිඟිත්තා රැගෙන ගොස් ප්‍රතිකාර කිරීමට ඔවුන් කටයුතු කළෝය. මේ අතරතුර ෆාතිමා නැවතත් ප්‍රකෘති තත්වයට පත්ව සිටි නමුත් නිවැසියෝ තව දුරටත් සිඟිත්තා ෆාතිමා අතට නුදුන්නෝය. සිඟිත්තා බලාගැනීම රෂිදා හට භාර විය. මඳක් දුරින් පිහිටි දේවාලයක් වන බවත් එයින් මේ පිළීබඳව සොයාබලා පිළියම් කළ හැකිවනු ඇති බවත් අසල් වැසි නිවැසියෙකුගෙන් හනිෆා හට දැනගන්නට ලැබුණෙන් ඒ පිළීබඳව පසුදාම කටයුතු කරන්නට ඔහු පෙළඹිණ.

 

ලද උපදෙස් අනුව දින කිහිපයක් ඇතුලත දේවාලයේ වැඩ කටයුතු සිදු වන අතරතුර ඔහු ෆාතිමාවත් රැගෙන එහි ගියේය. එහිදී කපුමහතා ආරූඪයෙන් මතුරමින් දෙහි කපන්නට වූ කළ ෆාතිමා ආවේශ වූවාය. එහෙත් හනිෆාත් අසල් වැසියනුත් දැඩිව ඇයව අල්ලා ගෙන සිටිහෙයින් ඇයට කිසිවක් කරන්නට ඉඩක් නොවූවාය. දෙහිකපා අවසන් වූ පසු. ඇය පියවි සිහියට පත්ව තම බිළිඳා පිළිබඳව විමසන්නට විය. එමෙන්ම එහි පැමිණී වගක් හෝ ඇයට මතකයක් නොතිබිණ. සියල්ල හොඳින් විසඳී ඇත. ඔවුන් නැවත නිවසට පිටත් වූයේ සියල්ල නිමා කරගන්නට එයින්ම හැකිවූ හෙයිණි.

 

එදින ඔවුන් සුව සිතින් රැය පහන් කරන්නට වූවෝය. එහෙත් ඒ එම රැය පමණක්ම බව ඔවුහු කිසිවෙකු නොදත්හ. පසුදා පෙර අයුරින්ම සියල්ල යථාතත්වයට පත් කරමින් ගතවී යද්දි රසික් දැඩි හිස බර ගතියෙන් පසු වූයෙන් ඔහු දවස පුරාම නින්දේම සිටියේය. කෙමෙන් දවස ගෙවී රාත්‍රිය උදාවිය. සියල්ලෝ සුවනින්දේ පසුවද්දී එක්වරම සියල්ලෝ තිගැස්සී ඇහැරුණේ නිවස තුළම යමෙක් යටිගිරියෙන් හූ තබනු ඇසීමෙනි.

 

රෂිදා වහා සාලයට දිව ආවාය. හනිෆාද ෆාතිමාද එසේමය. සිඟිත්තා ෆාතිමාගේ ළැමට තුරුළු වී නිදා සිටියි. කිසිදු අමුත්තක් නැත. එහෙත් රෂිදාට තම සොයුරා මතක් විය.

 

“මල්ලී, මල්ලී”යි හඬගාමින් ඇය ඔහුගේ කාමරය දෙසට යන්නට සැරසෙත්ම තවත් හූ හඬක් ඇසිණ. ඒ ඇසුණේ රසික්ගේ කාමරය දෙසින්ය. නැවතත් සියල්ලන්ගේ සිත් තුළට භීතිය ඇතුළු විය. හනිෆා එදෙසට දිව ගියේ රසීක් හට අනතුරක් වේයැයි සිතාගෙනය. රෂිදා වහාම සිඟිත්තා මවගෙන් උදුරා ගත්තේ මවගෙන් සිඟිත්තා හට අනතුරක් වේයැයි බියෙන්ය. සිඟිත්තා උදුරා ගත් ඇය සියල්ලන්ගෙන් ඈත්ව පසෙකට වූවාය. හනිෆා රසීක්ට කරදරයක් වේයැයි බියෙන් කාමරයට දිව ගියත් ඔහුගේ පුතා වූ රසික් නිරුපද්‍රිතව සිටගෙන සිටිනු දැකීම ඔහුට අස්වැසිල්ලක් විය. 

 

“පුතා එන්න එළීයට” යි කී හනිෆා රසීක්ගේ අතින් අල්ලා ගෙන යන්නට සැරසෙත්ම හනිෆාට තම අත වෙතින් දැඩි වේදනාවක්  දැනුණේය. ඔහුට කිසිත් සිතන්නට හෝ අවස්ථාවක් නොතිබිණ. රසීක් ඔහුගේ අත සපාකමින් සිටියේය. වැරෙන් පුතුට පහර කීපයක් එල්ල කළ හනිෆා රසික්ට පා පහරක්ද එල්ල කළේ ඉන් ගැලවෙනු පිණිසය. එහෙත් නවයොවුන් වියේ පසුවූ රසික් ශක්තිමත් කොළුගැටයෙකු වූ හෙයින් එය පහසු කාර්යයක් නොවීය. කෙසේ හෝ රසීක්ව විසිවන්නට පහරදී ඔහු කාමරයෙන් පිට වූයේ එහි දොර වසා ගෙනමය. මීට පෙර ෆාතිමා වෙත තිබූ ආවේශය දැන් රසීක් වෙත පැමිණ ඇත. ඔහුට කළයුත්තක් පිළිබඳව සිතන්නටවත් නොහනැකි වීය. ඔහු වහා අසල්වැසියන්ට කතා කර විස්තර කියාපසුදිනම නැවතත් දේවාලය වෙත යාමට කටයුතු කළේය.

 

පසුදින ඔවුන් සියල්ලන්ටම කාර්යයබහුල දිනයක් විය. දේවාලය වෙත ගොස් නැවතත් අවශ්‍ය දේවල් රැගෙන එමින් කටයුතු කරන ඔවුන්ට දිනය ගෙවී යන තුරු කරන්නට වැඩ තිබුණි. කෙමෙන් කෙමෙන්  රෑ බෝවී ගෙන එයි. පවුලේ සියලු දෙනාවම දේවාලය වෙත කැඳවනු ලැබිණ.

 

එහිදී පළමුවෙන්ම රසීක්ට දෙහි කපා ඔහුට ආරක්ෂාවක් කරන්නට යෙදිණ. එවිට ඔහු ෆාතිමාට දෙහිකපන විට  මෙන් කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. කිසිදු වෙනසක්ද නොපෙන්වීය. කපුමහතා ඔහුගේ හිස මත දෙහි ගෙඩිය සහිත ගිරය තබාගෙන මතුරයි. ඒ අතර තුර රෂිදාගේ හිස බමන්නට විය. ඇය හුන් තැනින් නැගිට දුවන්නට වූයෙන්. ලඟ සිටි පිරිස ඇයව අල්ලා නතරකරගත්තෝය. ඇය දැන් රෞද්‍රව ගොරවයි. රත් පැහැ ඇස් බමවමින් වටේ පිරිසට ගුගුරයි. කපුමහතා වහාම ඇයවද රැගෙන එන මෙන් දැන්වීය. ඇයට දෙහිකපන්නට වූ තැන ඇය නිශ්චල විය. ඇයද වෙනසක් නැතිව පෙර උන්නාක් මෙන් සිටින්නීය. ඇගේ හිස මත දෙහිගෙඩිය සහිත ගිරය තබා කපු මහතා මතුරන්නට වූ තැන හනිෆා හූ හඬක් නගා දුවන්නට විය. වහාම ක්‍රියාත්මක වූ සියල්ලෝ ඔහු පසු පස දිව ගොස් ඔහු අල්ලා ගත්තෝය. මහත් වෑයමකින් ඔහුව අල්ලා රැගෙන ආ නමුත් ඔහුව එක් අයුරකින් තබාගැනීමටනම් බොහෝ අපහසු විය. මේ වන විට මෙම ආවේශය එසේ මෙසේ එකක් නොවන බවත් එය කිසිසේත් විස්වාස කළ නොහැකි උභතෝකෝටිකයක් බවත් කාටත් පසක් වෙමින් තිබිණ. කෙසේ වුවත් ඔහුට දෙහි කැපීමෙන් පසු සියල්ල යථා තත්වයට පත් වේයැයි සියල්ලෝ සිතූහ. හනිෆාගේ වාරය එළැඹිණ. ඔහුගේ හිස මත ගිරය තබනවාත් සමඟම නැවතත් රසීක් ආවේශ වී ගර්ජනා කරන්නට විය. ඔහුගේ රෞද්‍ර විලාසය දැක බිය වූ රෂිදාත් ෆාතිමාත් වහාම හුන් තැනින් නැගිට වටේ සිටි පිරිස අතරට දිව ගියෝය. මන්ද රසීක් දැන් සිටිනුයේ කිසිවෙකු විසින් විලංගු ලනු ලැබ නොවේ. ඔහුට ඕනෑම දෙයක් කළ හැකිය. අවට සිටි පිරිසද භීතියට පත්ව සිටියෝය. කෙසේ නමුත් වහාම අවට උන් තරුණයන් කිහිප දෙනෙක් විසින් ඔහුව අල්ලාගැනීමෙන් රසීක්ගේ ඇඟට ආවේශ වූ යක්ෂයාට නැවතත් විලංගු වැටිණ. යක්ෂයා රෂිදාගේ පවුලේ එකිනෙකා වෙත මාරු වෙමින් ගර්ජනා කරයි. එය දුටුවන්ගේ සිත් භීතියෙන් මුසපත් කරවන්නක් විය. කපුමහතාගේ අණ අනුව රෂිදාත් ෆාතිමාත් රසික් සහ හනිෆාත් එක් වර පහන්පැල ඉදිරියේ තබා මතුරන්නට විය. දැන් ආවේශයෙන් සිටින්නේ රසික්ය. ‍

 

“ හා දැන් කතා කරපිය”

 

“තෝ කවුද? ඇයි මේ ඇත්තන්ගේ සරීර වලට ඇතුල් වෙලා කරදර කරන්නේ?”

 

“කියාපිය” යි කපු මහතා ගුගුරන්නට විය.

 

එහෙත් රසීක් රෞද්‍ර බැල්මෙන් සිටිනවා විණා කිසිවක් මුවින් නොපවසයි. කපුමහතා නැවතත් මතුරයි. මතුරමින් රසීක්ගේ හිසට අත තැබුවේය. ඔහු වේදනාවෙන් ඇඹරෙන්නට වූයේය.

 

“හ්ම්ම්ම් දැන් කතා කරපිය.”.

 

“ තෝ කවුද?” කපුමහතා නැවතත් රසීක් වෙත ගුගුරයි.

 

“මං .... මං.....” රසීක් කතා කරන්නට උත්සාහ කර නැවතත් නිහඬ විය. කපුමහතා නැවතත් ලංවිය.

 

“මං... එක කට්ටඩියෙක්.... මාව අල්ලලා..... යක්ෂ ආත්මයකට බැන්දෙව්වා. ලේ ගොටු දීලා... මාව හිර කෙරුවා....” රසීක් කතා කරන්නට විය. සැබවින්ම රසීක් තුළ වූ යක්ෂයා කතා කරන්නට විය.

 

“කවුද ඒ?” කපුමහතා විමසයි.

 

“මේ බවලත් දරුවාගේ පස්සෙන් ආපු එක නරයෙක් තමයි මට මේක කෙරෙව්වේ” රසීක් තම සොයුරිය වූ රෂිදාව දක්වමින් කියන්නට විය.

 

“එකෙක් මේකි පස්සෙන් ආවා. ඒත් මේකි ඌට කැමති වුණේ නෑ. ඌ ගෙදරටත් ආවා. ඇවිත් ගෙදරිනුත් ඇහුවා. ඒත් ගෙදර එවුන් ඌව  පන්නගත්තා. .... ඌ ඒ තරහාට ගිහින් කට්ටඩියෙක් ලවා දරුණු බන්ධනයක් කෙරෙව්වා. නේද බොල?” කපුමහතා යක්ෂයාගෙන් ඇසුවේය.

 

“එහෙයි එහෙයි” රසීක් තුළ සිටින යක්ෂයා යටහත් පහත්ව පවසයි.

 

“බොලාට මතකද සති දෙකතුනකට කලින් එකෙක් ආවා” කපුමහතා හනිෆා දෙසට හැරි විමසීය.

 

“ඔවු ඔවු. ආවා තමයි” හනිෆා සඩික්ව සිහිවීමෙන් පිළිතුරු දුන්නේය.

 

“ ආහ් . අන්න ඌ තමයි මේ බන්ධනය කෙරුවේ. මේ බවලත් ප්‍රාණකාරියගැන තණ්හාවෙ. උඹලා ඔක්කොම මරන්නයි මේක කළේ.... ඒ නරසත්ත බල්ලා...... ඌට මොකද කරන්න ඕන” කපුමහත්තයා විමසයි.

 

සියල්ලෝම නිහඬය.

 

“දරුවෝ මගේ නිතිය අනුවනම්  මූට දඬුවම් කරන්න ඕන..... මුන්ට මේව්වා කරනවාට පාඩමක් උගන්නන්න ඕන.... උඹලා මේ වෙලාවේ නාවානම් උඹලාට තව සතියක් යන්න ඉස්සර ඔක්කොගෙම මළ කඳන් තමයි හම්බෙන්නේ.... උඹලා එකාට එකා කාගෙන මැරෙන්නේ දරුවෝ..... ඉතින් ඒ වගේ එවුන්ට අපි මොකද කරන්න ඕන දරුවෝ.... කරපු එකා හැඳිගෑවිලා යන්න කියලා මේක ආපිට කපමුද දරුවෝ? ”  කපු මහතා නැවතත් අසයි.

 

නැවතත් සියල්ලෝම නිහඬය.

 

“හ්ම්ම්  හොඳයි දරුවෝ උඹලට ඒක කරන්න කියන්න බෑ නේද? දවස් 21ක් යන්න ඉස්සර මේක කරපු එකාට පිස්සු හැදෙයි.... ඌ බල්ලෙක් වගේ පාරක් පාරක් ගානේ යයි....බලපං දරුවෝ.....  නරසත්ත බල්ලා....” යි

ගුගුරන්නට වූ කපු මහතා නැවතත් මතුරන්නට විය. විශාල වෙහෙසක් දරා. බොහෝ වේලා මතුරමින් දෙහි කපමින් අවසානයේ රැය පහන් වන්නටද ආසන්නව ඔවුන් සතර දෙනාටම ආරක්ෂක නූල් ගෙල ලෑවාය. ඒ වන විට සියල්ලෝ ප්‍රකෘති තත්වයේ සිටි අතර තවදුරටත් කිසිවෙකුටත් ආවේශ වීමක් ඇති නොවිණ.

 

සති කිහිපයකට පසු නගරයට ගිය රෂිදාට අසන්නට ලැබුණේ තම ප්‍රේමය පතා ආ සඩික් රැකියාවෙන් පහ කරන ලද බවත් අනතුරුව උන්මාදයෙන් පෙළෙමින් මං මාවත් වල සැරිසරන්නට වූ බවත්ය. ඉන් අනතුරුව ඔවුන් කිසිවෙකුටත් කිසිදු ආන්තරාවක් නුවූ බවත් ඔවුන් නැවතත් එම යක්ෂ ආත්මයෙන් පීඩා නොවිඳි බවත් ආරංචි විය.2004 වර්ෂයේ අග භාගයේදී පුත්තලම ප්‍රදේශය ආශ්‍රිතව සිදුවූ සත්‍ය සිදුවීමකි.

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home