Monday, April 17, 2017

බිහිසුණු හුනියමේ කලුකොට මිනිහෙක් නිසා වලව් පෙළපතක්‌ මුළුමනින් වැනසුනේ මෙහෙමයි

ගේ තිබුණු විදිහටම තියෙනවා. මම හිටපු ඉස්‌තෝප්පුවත් ඒ විදිහටම තියෙනවා. බිත්ති හතර පැත්තට වැටෙනවා මම ඇහැට දැක්‌කා. මම පැන ගෙන ආවේ ඒ වටින පෙට්‌ටි උඩින්. මම වටපිට බැලුවා. ගේ ළඟ ගස්‌ අස්‌සේ කළු කොට මිනිසෙක්‌, මගේ ඇඟ සීතල වෙලා ගියා. අර අර ගස්‌ අස්‌සේ ඉන්නේ

මේ කතාවට පසුබිම දැනට අවුරුදු පණහකට පමණ පෙර වෙයි. ඒ දිනවල මම පුහුණු උපාධි උපගුරුවරයෙක්‌ ලෙස ගලේවෙල මහා විද්‍යාලයේ සේවය කළෙමි. නාගරික පරිසරයක පිහිටි විදුහලේ ගුරුවරුන්ට නවාතැන් ගැනීමට නගරයේ ඉඩකඩ තිබුණේ නැත. විදුහලේ ඉඩ ඇති කුඩා කොටස්‌වල විදුහල්පතිගේ අවසරය ඇතිව නැවතී ටවුමේ හෝටලයකින් තුන් වේලට කෑම බීම වෙන වෙනම බාස්‌කට්‌වලට ලබා ගෙන ආහාර ලබා ගතිමු. බොහෝ විට විදුහලේ තැන් තැන්වල නැවතී සිටි හා විදුහල කිට්‌ටුව වෙනම නැවතී සිටි තුරුණු බොහෝ ගුරුවරු සවසට අප නැවතී සිටි විද්‍යාගාරයට එකතු වී බිම මෙට්‌ට හෝ පැදුරු එලාගෙන කාඩ්ස්‌ සෙල්ලම් කරමින් පැරැණි රසකතා කියමින් විනෝදවීම පුරුද්දක්‌ විය.

අප අතර සිටි බණ්‌ඩාරනායක ඇඟපතින් කෙට්‌ටු පෙනුමෙන් කුඩා සිරුරක්‌ ඇත්තෙකි. එහෙත් මුකරිකමෙන් වඩාත් ඉහළ වූයේ ඔහුය. මියුරු හඬින් ඔහු එදා ජනප්‍රියව තිබූ හින්දි ගී ගායනය කරයි. කතාවක්‌ කියන විට අතපය සොළවා අංගචලන යොදා රසවත් කරයි. ඔහුගේ නම දිග වැඩි නිසා අප ඔහු හැඳින්වූයේ " බණ්‌ඩාර" යන කෙටි නිමිනි.

එදා පැහැදිලි අහසේ ගොම්මන් අඳුර කපාගෙන අටවක සඳ පළුව විසිතුරු ලෙස පායා තිබූ දිනයකි. ගුරුවරු දහදොළොස්‌ දෙනෙක්‌ විද්‍යාගාරයේ රැස්‌ව සිටියහ.

" අද මම උඹලට ලස්‌සන කතාවක්‌ කියන්නම්. මේක ඇත්තටම අපේ පවුලට සිද්ධ වුණු කතාවක්‌."

ඔහු කොට්‌ටය බිත්තියට තබා හාන්සි වී සිගරට්‌ දුම්ගුළියක්‌ පා කළේය. "උඹලා, දැකල ඇති අපේ මහගෙදර, පල්ලේපොළ ඉඳලා එන පාරේ පාර අද්දරම ලොකු පරණ ගේ. ඒකේ දැනුත් මහා පාළු මුසල පෙනුමක්‌ තියෙන්නේ. අපේ මහගෙදරට කවුරුත් කිව්වේ වළව්ව කියලා. අත්ත මුත්තලා හොඳට ඉඩ කඩම් තිබුණු වලව් පැළැන්තියේ අය. අපේ පප්පට හිටියා සහෝදර සහෝදරියන් දහ අටක්‌ කවුදෝ හතුරෙක්‌ මහා වෛරයකට යකෙක්‌ බැඳලා අපේ මහගෙදරට එවලා තිබුණා.

ඊට පස්‌සේ මහගෙදර හොල්මන් විමානයක්‌ වුණා. මේ යකා එනකොට දම්වැලක්‌ කකුලේ බැඳලා දම්වැල ඇදගෙන එන සද්දේ මුලින්ම ඇහෙනවා. මගේ ඇහැට මේ යකා දෙපාරක්‌ දැක්‌කා. එදා පප්පා අම්මා නංගිලා, මල්ලිලා ඔක්‌කොම කලින් කෑම කාලා දොර වහගෙන නිදි. මම ඉස්‌තෝප්පුවේ ඇඳක ඇලවෙලා හිටියා. දන්නෙම නැතුව ඔරලෝසුවේ රෑ දොළහ වැදුණා. ඈතින් දම් වැලක්‌ ඇදෙන සද්දේ ඇහෙන්න වුණා. ටිකෙන් ටික සද්දේ ළඟට ආවා. සද්දේ මම හිටපු ඉස්‌තෝප්පුවට ආවා. මම හිටපු ඉස්‌තෝප්පුවේ එක බිත්තියක්‌ එක පැත්තකට බිමට පෙරලුණා. තව බිත්තියක්‌ තව පැත්තකට පෙරලුණා. බිත්ති හතර පෙරළිලා වැටුණේ හතර පැත්තකට. මම මර හඬ දී ගෙන ඉස්‌තෝප්පුවෙන් පැනලා ළඟ තිබුණු සමුපකාර කඩයකට ගොඩවෙලා අතින් ලෑලිවලට ගහගෙන ගහගෙන ගියා. කඩේ මැනේජර් මට බැණ බැණ ලෑලි දෙක තුනක්‌ ඇරියා."

"අනේ, හරි හදිස්‌සියක්‌. අපේ ඉස්‌තෝප්පුවේ බිත්ති හතර පැත්තට බිඳ වැටුණා. ගේ ඉවරයි. යමු පොඩ්ඩක්‌ බලන්න. ගෙදර නිදාගෙන හිටපු අයට මොනවා වුණාද දන්නේ නෑ."

"අපි දෙන්නම ගියා. ගේ තිබුණු විදිහටම තියෙනවා. මම හිටපු ඉස්‌තෝප්පුවත් ඒ විදිහටම තියෙනවා. බිත්ති හතර පැත්තට වැටෙනවා මම ඇහැට දැක්‌කා. මම පැන ගෙන ආවේ ඒ වටින පෙට්‌ටි උඩින්. මම වටපිට බැලුවා. ගේ ළඟ ගස්‌ අස්‌සේ කළු කොට මිනිසෙක්‌, මගේ ඇඟ සීතල වෙලා ගියා. අර අර ගස්‌ අස්‌සේ ඉන්නේ"

කඩහිමියා විදුලි පන්දම රැගෙන ඒ දිහාවට විදුලි පන්දම ඇල්ලුවා. කෝ මොකෙක්‌වත් නෑ. තමුසේට විකාර. මට පේනවා මුදලාලිට මොනවත් පේන්නෑ ටික වේලාවකින් ඌ නොපෙනී ගියා. එදා මම නිදා ගත්තේ සමුපකාර කඩේ."

බණ්‌ඩාර කතාව නවතා වටපිට බලයි.

"ඇයි උඹලා බයද?"

"ඔය කාලේ වලව්වේ යකෙක්‌ ඉන්නවා කියලා මුළු ගමේම පැතිරිලා ගියා. අපේ ගේ ළඟින් යනකොට කළු කොට අවතාරයක්‌ දැකලා හුඟ දෙනෙක්‌ සිහි නැතිවුණා. ඒ අයට සිහිය ආවේ යකැදුරෙක්‌ ඇවිත් තෙල් සාත්තු කළාම."

අටවක සඳ වලාවකින් වැසී යයි. බණ්‌ඩාර දුම් ගුලියක්‌ පිටකර බිත්තියට තදින් හේත්තු වෙයි. විද්‍යාගාරය ඉදිරිපිට ඇති මයිල ගහේ හෙවණැල්ල මිදුලේ අඩක්‌ වසා ගනියි.

"මුලින්ම මේ යකා දැකලා තියෙන්නේ ගමේ අලිකාරයෙක්‌. හැන්දැවේ වැඩ ඇරිලා අලියා ගහේ බැඳලා ගෙදර යනකොට අපේ ගේ ළඟ යකඩ දම්වැලක්‌ ඇඳෙන ශබ්දය ඇහිලා මනුස්‌සයා බයවුණා. එයා හිතුවේ අලියා කඩාගෙන එනවා කියලා. මනුස්‌සයා හැරිලා බලන කොට කළු කොට මිනිහෙක්‌ දම්වැලක්‌ ඇදගෙන මිදුලේ ඇවිදිනවා. එයාගේ හිත ගැස්‌සුණා. ඔයින් මෙයින් ගමේ කිසි කෙනෙක්‌ තනිවම හැන්දෑවේ පාරට බැස්‌සේ නෑ.

ගමේම අය කතා කළේ ගමන් බිමන් ගියේ බියෙන්. රෑ පැල් රකින්ට යන පිරිමි හොල්මන්වලට බය නෑ. රා බීලා උල් පිහියක්‌ අත් පොරොවක්‌ කෙටේරියක්‌ අරගෙනයි පැලට ගියේ. ටිකෙක්‌ ටික ඌ මේ පැල් රකින අය ළඟටත් යන්න පුරුදු වුණා. රෑට පැලේ ගිනිමැලයක්‌ ගහගෙන සීත තපින කොට යකා පැලකට ගොඩ වෙනවා."

"රාළේ ගිනි තපිනවද?" කියාගෙන එතැන ඉඳගෙන ටික වේලාවක්‌ ගිනි තැපලා හපන්න බුලත් විටක්‌ ඉල්ලනවා. රෑට පැලට ආපු කෙනෙකුට කවුද කියලා හොයලා බලන්නේ නැතිව සළකන එක මිනිසුන්ගේ පුරුද්ද. බුලත්විට කාලා ටික වේලාවකට ගොවිරාළ කුරහන් රොටී පුච්චනවා. බඩගිනි නෑ. තේ උඟුරක්‌ බොමු කියලා ඌ උණු තේ බීලා නැඟිටිනවා මේ රෑ කොහේ යන්නද? ඔන්න ඔහේ හිටපන්. පැල්කාරයා කියනවා. බෑ රාළේ. වළව්වට ගිහින් එන්නම්. පොඩි බණ්‌ඩාර මහත්තයා හම්බවෙන්න ඕනකමක්‌ තියෙනවා. මෙහෙම ටික දවසක්‌ යනකොට පැල්කාරයොත් රෑට තනිවම පැල් රකින්න බය වුණා. යකා රෑට හේනේ පැලට ගොඩවෙලා කාලා බීලා වළව්වේ කෙනෙකුගේ නම කිව්වම පහුවදා උදේ එයා අකාලයේ මියෑදිලා ඇඟ නිල් පාට වෙලා ඇස්‌ ඇරගෙන බයවෙලා මැරිලා."

"තවත් දවසක යකා තවත් පැලකට ගොඩවෙලා සීපද කිය කියා හිටි ගොවියෙක්‌ එක්‌ක කතාවට වැටිලා තේත් ඉල්ල ගෙන බීලා. මට වළව්වේ සුදු මැණිකේ පණිවිඩයක්‌ එවලා තිබුණා. රෑ වුණා වැඩියි. ඒත් ගිහින් එන්නම් කියලා පිටත්වෙලා හොඳට හිටපු ළමිස්‌සී ඉහෙන් බහින රෝගයක්‌ තිබුණේ නැති අපේ කුඩප්පගේ දුව සුදුමැණිකේ පහුවදා වෙනකොට මැරිලා. උඹලා ඔක්‌කොම බය වෙලා වගේ"

"ඉතින් මොකද වුණේ?" ජයතිලක අසයි.

" ඉතුරු කතාව කියන්න සිගරට්‌ එකක්‌ දීපන්

සිගරෙට්‌ටුව දල්වා ගත් ඔහු යළි කතාව අරඹයි.

"ගමේ හුඟදෙනෙක්‌ අපේ ගේ ළඟින් යන එක නැවැත්තුවා. ඕනෑම වුණොත් කීප දෙනෙක්‌ එකතුවෙලයි රෑට ගියේ. දම්වැල් යකාගේ කතාව අවට ගම්වලත් පැතිරිලා ගියා. මැරූ ඔක්‌කොම අපේ පවුලේ අය. පිට කවුරුත් මැරුවේ නෑ. මරන්න ඉස්‌සර දවසේ ඌ නම කියලා ගියොත් පහුවදා උදේ එයා මැරුම් කාලා. අපේ පප්පගේ අයියලා. මල්ලිලා විස්‌සකට වැඩිය මැරුම් කෑවා. මේ ඔක්‌කොම මරණ සිද්ධ වුණේ මාස තුනක්‌ ඇතුළත.

දන්න තරම් යන්තර මන්තර තොවිල් කළත් පවුලේ මරණ අඩු වුණේ නෑ. ඔහොම ඉන්න කාලේ එක දවසක්‌ මම අපේ මහගෙදර ගියා. මට ඔය හොල්මන් කිසි ගාණනක්‌ නෑ. රෑට කාලා මම ඉස්‌තෝප්පුවේ නිදා ගත්තා. ගෙදර අය ඔක්‌කොම තද නින්දේ. එක පාරටම ඉස්‌තෝප්පුවේ දොර ඇරුණා. මට හොඳට මතකයි. මම මොකද කියලා බලන්න දොර ළඟට ගියා. මගේ හිත අර පරණ සිද්ධිය මතක්‌ වෙලා අවුල් වුණා. එකවර දොරවල් දෙකම ඇරුණ මගේ ඇගේ ඩාදිය වතුර වගේ ගලන්න වුණා. දම්වැල් සද්දේ එක්‌කම අඩි සද්දය ඇහුණා. කොට - කළු ඇඟ පුරා රෝම තියෙන ඌ ඇවිත් මා දිහා බැලුවා. ඇස්‌ දෙක ගිනි ගුලි දෙකක්‌ වගේ. ඌ දිව දික්‌ කළා. රතුපාට දිව අඩි දෙකක්‌ විතර දිගට දික්‌වුණා. දැනුත් මතක්‌ වෙනකොට ඇඟ හිරිවැටෙනවා. මම යටි ගිරියෙන් කෑ ගැහුවා. ඒත් කටෙන් සද්දේ පිටවෙන්නේ නෑ.

විනාඩි තුනකට විතර පස්‌සේ ඇරුණු දොරවල් එක එක වැහුණා. යකා ආපසු යන සද්දේ අඩි සද්දේ දම්වැල් සද්දේ මට ඇහුණ මම බය යට කරගෙන ටෝච් එකක්‌ අරගෙන දොර ළඟට, ගියා. මම බලන කොට ඌ ගේට්‌ටුව ඇරගෙන එළියට යනවා. මට සිහිය ආවේ දවස්‌ දෙකකට පස්‌සේ, තෙල් මතුරලා නූල් බැන්දට පස්‌සේ. මේ වන කොට අපේ පවුලේ තව ඉතිරිවෙලා හිටියේ පප්පයි තව එක බාප්පා කෙනෙකුත් විතරයි. ඒ දෙන්නටත් උණ හැදිලා දොඩවනවා. මෙහෙම ඉන්න කොට යන්තර මන්තර ගුරුකම් වලට නම් දරාපු හාමුදුරු කෙනෙක්‌ ගැන පණිවිඩයක්‌ ලැබුණා. අපි හාමුදුරුවෝ මුණ ගැහෙන්න ගියා. හාමුදුරුවෝ තෙල් - නූල් මතුරලා දුන්නා. ඒවා ගෑවම දෙන්නගේම උණ බැස්‌සා. ගෙවල් ළඟ තියෙන කතරගම දේවාලයකට ගිහින් පප්පයිs බාප්පයි එක්‌ කරගෙන ගිහින් යාතිකා කරලා හාමුදුරුවෝ මන්ත්‍ර බලෙන් ලෙඩ්ඩු සනීප කරලා ඒ දෙන්නගේ ජීවිත රැකලා දුන්නා. ඊට පස්‌සේ අපිට ඕනෑ වුණා කවුද මේ යකා? ඇයි මෙහෙම වුණේ කියලා? දැනගන්න. හාමුදුරුවෝ නමක්‌ බැලුවා. අපේ නමෙන් කියපු දේ හරි පුදුමයි. පප්පගේ ලොකු අක්‌කා කෙනෙක්‌ හිටියා. නෑකමට මගේ ලොකු නැන්දා. මේ නැන්දා බැඳලා දුන්නේ මාතලේ දුහුල්ලෑව නැන්දාට දෙනවා කියලා පොරොන්දු වෙච්ච දෑවැද්ද පවුලේ අය එකතුවෙලා දුන්නේ නෑ. මනමාලයා රවට්‌ටලා.

තරහා ඉහවහ ගිය මනමාලයා නැන්දගේ පරම්පරාවෙන්ම පලිගන්න පරම්පරාව නැති කරන්න යකෙක්‌ බැඳලා එවලා. තුන්මාසෙකදී පවුලේ ඔක්‌කොම නැති කරන්න ඌට පවරලා."

හාමුදුරුවෝ ඊළඟට බැලුවා කවුද මේ දම්වැල බැඳපු යකා කියලා. දැන් අවුරුදු දෙසීයකට විතර ඉස්‌සර මේ පැත්තේ අපේ මුතAතා වන රටේ මහත්තයෙක්‌ ඉඳලා තියෙනවා. මේ රටේ මහත්තයාට හිටිය ඉටි රූපේ වාගේ ලස්‌සන දුවක්‌. දුටු දුටු අය එයාගේ රූපෙට වශී වුණා. දවසක්‌ වලව්වට ආපු කුලෙන් අඩු තරුණයෙක්‌ මේ දුව දැකලා හිත ගිහින්. ඒත් ඒක වෙන දෙයක්‌ නොවෙයි. ඒ දවස්‌වල ගම්වල කුල බේදය බොහෝම දරුණුයි.

අර තරුණයා වලව්වට යන එන රිදී නැන්දා අතේ රටේ මහත්තයාට විවාහ යෝජනාවක්‌ යෑව්වා. රටේ මහත්තයාට ඇති වුණේ පුදුම කේන්තියක්‌. ඔක්‌කොම අවුල් වලට මුල මේ හැතිරී කියලා අර තමුන්ගේ ඉටි රූපේ වාගේ ලස්‌සන දුව අපේ වලව්ව ඉස්‌සරහා තිබුණු වතුර වළක බලෙන් ඔබාගෙන හිටියා. එයා වතුර පෙවිලා පියා එක්‌ක වෛරයෙන් මිය ගියා.

දැන් පරම්පරාවෙන් පලිගන්න පරම්පරාවේ විසිදෙනෙක්‌ බිලි ගත්තු යකා වෙලා උපන්නේ රටේ මහත්තයා. දියේ ගිල්ලවලා මරපු එයාගේ දුව. අන්තිමේ පරම්පරාවෙන් ඉතිරි වුණේ අපේ පප්පයි අපේ බාප්පයි විතරයි යකාගෙන් බේරිලා ඉතිරි වුණේ."

"උඹලා දැන් හොඳටම බයවෙලා නේද ඉන්නේ? බය නම් යන්න එපා ගෙවල්වලට. මේ ඇවිත් තියෙන කෑම ටික බෙදාගෙන කාලා විද්‍යාගාරයේ නිදා ගනිල්ලා." බණ්‌ඩාර කතාව නවත්වයි. අටවක සඳ වැසී ගොස්‌ කළු වලා අහස පුරා පැතිර ඇත, බණ්‌ඩාර කිවු කතාව මාස ගණනක්‌ යනතුරු අපේ හිත්වල මැවී පෙනුණි. ඒ මතකය අදටත් ඉතිරිව ඇත.

වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ 
එස්‌. කේ. ජයවර්ධන

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home