Sunday, April 16, 2017

මරණින් පසු නිවසට පැමිණි සිරිදාස

ඉහ උඩින් යන්නාක්මෙන් ඇසුණු යකඩ යකාගේ ශබ්දයෙන් කරුණාවතී අවදිවිය. රේල්ලුව අසලම ලැයිමේ ජිවත්වන ඇයට මතක ඇති කාලයේ පටන් පාන්දර අවදි වීමට වේලාව කිවේ මුතු මැණිකේ දුම්රියයි . හතරයි පහලොව වන විටම  රාගම දුම්රියපොළ පසුකරගෙන යන මුතු මැණිකේ දුම්රියේ හඩ  කරුණාවතීට අදත් අවදිවීමට  වේලාව කිවේය .

එතැන් පටන් ගේ දොර අස් පස් කර දරු දෙදෙනාගේ පාසැල් ඇදුම් සුදානම් කර  සිය සැමියාගේ දිවා ආහාරය සුදානම් කිරීම ඇයගේ ෛදනික   රාජකාරියයි කොළඹ කන්තෝරුවක සේවය කරන සිරි දාස වන ඈගේ සැමියාව අවදි කරවන්නේ ඉන් පසුවය.

සිරිදාස රාජකාරි සදහා පිටත්වන්නේ දරු දෙදෙනාව පාසැලට ඇරලවීමෙන් පසුවය . දරු දෙදෙනාවත් සුරතින් අල්ලාගෙන නිවසින්  පිටවන සිරිදාස පාර කෙලවරට ගොස් නොපෙනී යනතුරුම දොරකඩ සිට බලාගෙන සිටීම කරුණාවතිගේ පුරුද්දය .  එහෙත් මෙදින සිය සැමියා යන්නේ ඉරණම් ගමනක් වග මොහොතකටවත් ඇයට නොසිතෙන්නට ඇත .

ස්ටේෂන් එක පසුකර උඩ පාර දිගේ ගොස්  පල්ලියේ ඉස්කෝලෙට දරු දෙදෙනා ඇරලවා නැවතත් පාගමනින්ම ස්ටේෂමට එන  සිරිදාසට බොහෝ දුරට දකින්නට ලැබෙන්නේ ස්ටේෂමට පැමිණ කොලඹ කොටුව බලා දිවෙන දුම්රිය හෙමිහිට ඉදිරියට ඇදෙන  අයුරුය. එහෙව් දිනෙක දිව ගොස් ධාවනය වන දුම්රියේ දොරක හෝ  එල්ලීමට සිරිදාස පසුබට නොවෙති .

එහෙව් දිනෙක කෝච්චියේ ඇතුලේ සිටිනවුන්ගේ වාග් ප්‍රහාරයන් නොඇසුනාක්මෙන් බිම බලාගෙන කඩිමුඩියේ ගොස් හැමදාම යන හතරවන මැදිරියේ සිටින මිතුරන්හා එක්වන්නේ කිසිවක් නොවූ අයුරෙනි . ඔහුට දුම්රිය ගැන කිසිදු සැකක් බියක් දැනුනේ නැත.  කුඩා කල සිටම හුරු පුරුදු දුම්රිය වියපත් සිරිදාසට දැන්  ලබැදී මිතුරෙකුටත් වඩා සමීපය... ඒ මිතුරාම ඔහුට සතුරුවේ යැයි ඔහු කිසිදිනෙක නොසිතන්නට ඇත

උදේ කොටුව ස්ටේෂන් එකෙන් බැස වෙන්වී යන  දුම්රිය සගයන් නැවතත් දවස අවසානයේ රැකියා අහවරවී පැමිණ එකතු වන්නේද  හතරවන දුම්රිය මැදිරියේදීමය.

අදත් සිරිදාස සුපුරුදු පරිදි කොටුව නැවතුමෙන් හතරවන මැදිරියට ගොඩවූයේ මිතුරන් හා සැමදා යන ආසන පේලියට යෑමටය.. එහෙත් අද ඔවුන්ගේ ආසන අන්සතුවී ඇත.. වෙනදා නොදකින කාර්යාල සේවකයන්ගෙන් කෝච්චි පෙට්ටිහි තද බදයක් ඇතිවී තිබේ . අද බස් රථ වර්ජනයක් ඇතිබව සිරිදාසට මතක්වුයේ එවිටය .

වෙනදා තමන් සමග එකට වාඩිවී යන මිතුරන් අද එකෙක්වත් සුපුරුදු ස්ථානවල නැත.. ඔවුන් ඉඩ ඇති ඇති තැන්හි ගාල් වෙන්නට ඇත සිරිදාසද ඉඩ කඩ ඇති කොනකට සෙන්දුවන මොහොතේ ඔහු දුටුවේ සෙනග අතරින් තෙරපෙමින් ඔහුවෙතට ලගාවෙන නිමල් ගේ රුවය  . නිමල්ද සිරිදාසලාගේ දුම්රිය මැදිරි සමාජයේ සාමාජිකයෙකි

“සිරිදාස අය්යා අදනම් අපේ ෂිට් එකක්වත් නැහැ.. අද බස් වර්ජනේනේ , වෙනදට බස්වල යන අයත් අද කෝච්චියේ නැගලා ..”

“ඔව් මලයා ඒත් මටනම් හිටගෙන යන්න බැහැ මේ හන්දිපත් අමාරුවත් එක්ක ..”

එසේ කියූ සිරිදාස පාපුවරුව අසලට ගොස් සාක්කුවෙන් ගත් ලේන්සුව බිම එලා  වාඩිවන සැටි නිමල් බලාසිටියේය..  ලබැදී  මිතුරා සමග මද වේලාවක් දොර අසල සිට දොඩමළුවූ නිමල් ඔහුට සමුදී  නැවතත් සෙනග අතරින් මැදිරිය ඇතුලට රිංගුවේ ඔහුගේ කාර්යාල බෑගය වෙනකෙකු අත තබා ආ බැවිනි...

සියලුම නැවතුම් පලවල්හි  නවතමින් අඩ හොරාවකටත් වැඩි කාලයක් ධාවනයවූ දුම්රිය රාගමට ලගාවේමින් සිටින විට ඇතුලත තෙරපෙමින් සිටි නිමල් නැවතත් දොර අසලට පැමිණෙමින් සිටියේය ඒ අතරම  ඔහුට  නිකමට මෙන් තම මිතුරා වාඩිවී සිටි පාපුවරුව දෙස බැලුණි ...  එහෙත් දැන් එතැන ඔහු නැත

මැදිරිය පුරා සෙව්වත් ඔහු පෙනෙන්නට සිටියේ නැත..  අවසානයේ පාපුවරුව අසලටම ගොස් බැලු නිමල්ට දකින්නට ලැබුනේ පාපුවරුවේ යට කොනක පැටලී සුළගට ලෙල දෙන සිරිදාසගේ ලේන්සුවය ..

කුමක්හෝ අසුභ දෙයක් සිදුවී ඇතිබව නිමල්ට ඉවෙන්මෙන් දැනුනි .. ඔහු වහා දිවගොස් දුම්රියේ හදිසි අනතුරකදී පාවිච්චි කිරීමට ඇති  දම්වැල ඇද්දේය ..
......................................................................................................................................

සිරිදාස පිටවූ පසු කරුණාවතී  දහවල් කාලයේදී පාසැල් නිමවීමෙන් පසු දරුවන් රැගෙන විත් ගේ දොර වැඩ අහවර කරයි.. ඒ කෙසේ වෙතත් ස්වාමියා පැමිණෙන වේලාව ලංවන විට වතුර එකක් උණුකර බේසමට දමා ගේ පිටිපස්සේ කණ්ඩිය උඩින් තැබීම  ඇය විවාහා වූ දින පටන් නිතිපතා කරගෙන ආ කාරියකි. ඒ සිරිදාසට රැකියාව නිමවී නිවසට ආ විගස උණුසුම් වතුරෙන් ඇගපත සෝදාගැනීමට අවශ්‍ය වන නිසාය .
මෙදිනද වතුර බේසම සුදානම් කර කණ්ඩිය උඩින් තැබූ කරුණාවතී මිදුල අමදිමින් සිටියේය ... සුපුරුදු වේලාවටම සිරිදාස ආවේය ..

“අන්න මම වතුර ටික කණ්ඩිය උඩින් තිබ්බා ... ඇග  සෝදා ගන්න “

සිරිදාස වචනයක්වත් කිවේ නැත. නිහඩ චරිතයක්වූ සිරිදාසගේ මෙම හැසිරීම් විලාසය හොදින් දන්නා  කරුණාවතී එය නොතකා කරමින් සිටි කාරියේම නිරත විය ..

එහෙත් එක්කම මහා හඩින් ඇසුණු ත්‍රි රෝද රථයේ තිරිංග ශබ්දයෙන් ගැස්සී ගිය ඇය පාර දෙස බැලුවේය  එහි සිටියේ අසල්වැසි තරුණයෙක්වූ ජගත්ය.

“මොකෝ බං මේ හදිසිය ..”

කරමින් සිටි වැඩේ මදකට නතර කල කරුණාවති  නෝක්කාඩු ස්වරුපයක් මවාගත්තේය ..

“කරුණාවතී නැන්දේ සිරිදාස මාමා කෝච්චියෙන් වැටිලා...

තැතිගත් විලාසයෙන්  එසේ පවසමින් කඩුල්ල පැන තමා දෙසට එන ජගත්  දෙස ඈ බලා සිටියේ සිනාසෙමිනි .

“උබට පිස්සුද ජගත් , සිරිදාස මාමා  මේ දැන් ආවා විතරයි  ආ ..න්න ඉන්නවා ඇතුලේ ..

එසේ කියමින් කරුණාවතී  නිවස තුලට කර පෙව්වේය .. එහෙත් ඈගේ ඇස ගැටෙන මානෙක සිරිදාස නොසිටියේය ..

“මම හිතන්නේ ඇග සෝදන්න යන්න ඇති, උබ මේ වෙන කෙනෙක් වැටුන එකකට රැවටිලා .. වරෙන්කො යන්න පෙන්නන්න මාමාව..”

මෙතෙක් වෙලා තුෂ්ඨිම්බුතව සිටි ජගත්ද කරුණාවතී පසුපසින් නිවෙස තුලට වැදුනි ..

ගේ පිටුපස කණ්ඩිය උඩ  උණුවතුර බේසම  එලෙසම තිබේ. එයට   කිසිවෙකු අත තබාවත් ඇති බවක  සලකුණක්වත් පෙනෙන්නට නැත  .. කුඩා වත්ත  හතර මායිමේවත් සිරිදාස පෙනෙන්නට නැත ,

“මේ දැන් ආව මනුස්සයා කොහෙට ගියාද , කියමින් කරුණාවතී  හැරුනේ ඔවුන්ගේ නිදන කාමරය දෙසටය  එහිද සිරිදාස පැමිණුන වගට කිසිම සලකුණක් නැත , උනා දැමූ ඇදුම්වත් , දාගෙන ගිය පාවහන්වත් , කාර්යාල බෑගය වත් එහි නැත. කිසිදා නොදැනුනු බියක් කරුනාවතියේ සිතට දැනෙමින් තිබු මොහොතේ මෙතෙක් නිහඩව සිටි ජගත් ආයාසයෙන් කතා කළේය .. ඒ මෙතෙක් කාලයක් කරුණාවතී ඇසු නරකම පුවතයි ..

“කලබල වෙන්න එපා නැන්දේ, සිරිදාස මාමා කෝච්චියෙන් වැටිලා ඒකේම රෝදෙකට අහුවෙලා.  ඉස්පිරිතාලෙට ගෙනියද්දීත් මාමාගේ පන ගිහින් ...මම එතැන ඉදලයි ආ....

ජගත්ට එය අවසන් කිරීමට ලැබුනේ නැත සිහි විසක්ඥ වූ කරුණාවතී ඇද වැටුණි .

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home